ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කරන නව ව්‍යවස්ථාවෙන් ඉදිරියේ දී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවේ දී ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය ලබාගැනීම හෙළා දකිනවා..අපි ඉල්ලා සිටින්නේ ආරක්ෂක ඇමතිවරයෙක් පත්කරන්න.."

"අගමැතිට ආයතන 85ක් ගැසට් කරලා..ආණ්ඩුවේ අය කතා කරන්නේ නව ව්‍යවස්ථාව ගැන..එහි අන්තර්ගතය ගැන අපි දන්නේ නැහැ..ඉතා භයානක තත්ත්වයක්.."
 
මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ දෙමටගොඩ ශ්‍රී වික්‍රමසිංහාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

ආගමික වතාවත්වලද නිරත වූ ප්‍රේමදාස මහතා විහාරාධිපති හිමියන් සමග විහාරස්ථානයේ අඩුපාඩු පිළිබඳව ද සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයටය.

එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"වර්තමානයේ බිහිවුණු ආණ්ඩුවට ජනතාවට සේවය කරන්න අවස්ථාව උදාවෙලා..වහාම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න.."

"රට තුළ බරපතළ කහ හිඟයක් තියෙනවා..ඒ නිසා ගෘහණියන් පීඩාවට පත්වෙලා.."